වෙනද වගේම උදෙන්ම නැගිටපු අම්ම වෙනදට හදල දෙන නිකං කිරි එක වෙනුවට සීනි දාලම කිරි එකක් හදල දුන්න. අපෙ ගෙදර කිරි එකට සීනි දාලම හම්බ වෙන්නෙ විශේෂ දවසකට විතරයි. එහෙම දවසක් ආපුවම මම ඒක මගෙ පුංචි ඩයරියෙත් ලියනව අද සීනි දාල කිරි බිව්ව කියල. අදත් ඒ වගේ විශේෂ දවසක්! අද මගෙ ශිෂ්‍යත්ව විභාගෙ! හැමදාම පන්තියෙ පලවෙනිය වෙච්ච මට නං මේක ගැන ලොකු බයක් තිබුන්නෑ. කොහොමත් අපෙ පංති බාර ටීච අපිට හැම සතියකම පේපර් එකක් කෙරෙව්ව. මට හැමදාම හොඳට ලකුණු තිබුන. ඒත් ටීච කිසිම දවසක මට හොඳයි කිව්වෙ නැහැ. ඒ මං ඊට පස්සෙ කම්මැලි වෙලා නිකං ඉඳී කියල. ටීච මට හරිම ආදරෙයි. ටීච මට හැමදාම වගේ කිව්වෙ විභාගෙ ඉහලින්ම පාස් වෙලා නුවර හොඳ ඉස්කෝලෙකට ගිහින් හොඳට ඉගෙන ගන්න කියලයි. ඒ උනාට මට ඒ වගේ දේවල් ගැන ලොකු අදහසක්වත් බලාපොරොත්තුවක්වත් තිබුන්නැහැ ඒ කාලෙ.
අප්පච්චි නිවාඩුවක් කලින්ම අරගෙන තිබුන. විභාගෙ තියෙන්නෙ ගමේ ඉස්කෝලෙ නෙවෙයි. යන්න ඕන ටවුමට. මාව එක්කං යන්නයි අප්පච්චි නිවාඩු අරං තිබුනෙ. විභාගෙ පටන් ගන්න තිබුනෙ 10 ට මට මතක හැටියට. ඒ උනාට අප්පච්චි කිව්වෙ ටිකක් කලින් යන්න ඕන කෝකටත් කියල. ඒ නිසා අපි උදේ 07.30 ට විතර පාරට ආව යන්නත් පැයක් විතර යන නිසා. පැය බාගයක් විතර ගියත් කිසිම වාහනයක් ආවෙ නෑ. අප්පච්චි විනාඩියෙන් විනාඩියට ඔරලෝසුව බල බල එහෙට මෙහෙට ගියා.
"පුතේ අපි යං පයිං. වාහනයක් ආවම නගිමු." අප්පච්චි කිව්ව. කිලෝ මීටර් දහයක් තියනව යන්න. මගෙ බෑග් එක ඉල්ලගත්ත අප්පච්චි ඒක කරේ දාගත්ත. මං යනව අප්පච්චිගෙ පස්සෙං. ඒ උනාට මට අප්පච්චිගෙ වේගෙං යන්න බෑ. අප්පච්චි වැඩ කලේ වත්තෙ නිසා එයාට වේගෙන් ගිහිං පුරුදුයි. අප්පච්චි ටිකක් දුර යනව, නතර වෙලා මං එනකං හිනා වෙවී බලං ඉන්නව. වැඩිම උනොත් කිලෝමීටරයක් යන්න ඇති. අප්පච්චිගෙ හිනා මූන ටිකක් අඳුරු උනා.
"වෙලාවට යාගන්න බැරි වෙයිද දන්නෑ"
වෙන මොකුත් නොකියපු අප්පච්චි මාව වඩාගත්ත. මට හරිම සන්තෝසයි. උඩිං යනව වගේ. පල්ලං තියන සමහර තැංවල අප්පච්චි දුවගෙනත් ගියා. අප්පච්චි මාව වඩාගෙන ආව කිලෝ මීටර් 6 ක් විතර.අන්තිමේ ටවුමට කිලෝමීටර් 2-3 ක් විතර තියෙද්දි හම්බ උනා ලොරියක්. (ගොම පටවං යන) ලොරියට නැගලත් අප්පච්චි මාව වඩාගෙනම හිටිය මගෙ ඇඟේ ගොම ගෑවෙයි කියල. කොහොමහරි වෙලාවට කලිං මං ආව විභාග ශාලාවට.
එදා අප්පච්චිගෙ ඇගෙං ආපු දාඩිය සුවඳ මට අදටත් දැනෙනව වගේ. අප්පච්චිගෙ පුංචි ලෝකෙ කවදාහරි එලිය කරන්නෙ මං කියන බලපොරොත්තුව එයාගෙ හිතේ තිබුන. මං ඒක තේරුං ගත්තෙ පස්සෙ කාලෙක උනාට. ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල ආපු දවසෙත් අප්පච්චි මාව කරේ තියාගෙන ගෙදර එක්ක ආවෙ රජෙක් වගේ. වත්තෙ වල් සුද්ද කර කර හිටපු අප්පච්චි ඒ දාඩිය මඩ පිටිංම මාව වඩාගෙන තුරුල් කරං ගෙදරට ආපු විදිය මතක් වෙනකොට අදටත් මට ඇඬෙනව.
අප්පච්චි ඒ විඳපු දුක් කඳුලු දාඩිය වලට වන්දි ගෙවන්න මට කවමදාවත් හම්බ උනේ නැහැ. මගේ ජීවිතේ ජයග්‍රහණ දකින්න එයා හිටියෙත් නැහැ. ඒත් අදටත් මගේ ජීවිතේ වීරයා මගේ අප්පච්චි. මගේ පරමාදර්ශය අප්පච්චි. මං ජීවිතේ වැටෙන හැම මොහොතකම මං මතක් කර ගන්නෙ මගෙ අප්පච්චිව. මං දන්නව අප්පච්චි කොහේ හරි හොඳ තැනකට වෙලා මං දිහා බලාගෙන සතුටු වෙනව ඇති. ඒ නිසා මට අප්පච්චිට කරන්න බැරි උන දේවල් අහිංසක දුප්පත් මිනිස්සුන්ට කරල දීල සතුටු වෙනව. ඒ හැම පිනක්ම මගෙ අප්පච්චිට අනුමෝදන් කරනව. මගෙ අප්පච්චි නිවන් දැකල නැත්තං ඊලඟ ආත්මෙදිත් මගෙම අප්පච්චි වේවා කියල හැම පිංකමක් අවසානෙම ප්‍රාර්ථනා කරනව.