Saturday, March 9, 2019

පීතුපාදං නමාමහං...

වෙනද වගේම උදෙන්ම නැගිටපු අම්ම වෙනදට හදල දෙන නිකං කිරි එක වෙනුවට සීනි දාලම කිරි එකක් හදල දුන්න. අපෙ ගෙදර කිරි එකට සීනි දාලම හම්බ වෙන්නෙ විශේෂ දවසකට විතරයි. එහෙම දවසක් ආපුවම මම ඒක මගෙ පුංචි ඩයරියෙත් ලියනව අද සීනි දාල කිරි බිව්ව කියල. අදත් ඒ වගේ විශේෂ දවසක්! අද මගෙ ශිෂ්‍යත්ව විභාගෙ! හැමදාම පන්තියෙ පලවෙනිය වෙච්ච මට නං මේක ගැන ලොකු බයක් තිබුන්නෑ. කොහොමත් අපෙ පංති බාර ටීච අපිට හැම සතියකම පේපර් එකක් කෙරෙව්ව. මට හැමදාම හොඳට ලකුණු තිබුන. ඒත් ටීච කිසිම දවසක මට හොඳයි කිව්වෙ නැහැ. ඒ මං ඊට පස්සෙ කම්මැලි වෙලා නිකං ඉඳී කියල. ටීච මට හරිම ආදරෙයි. ටීච මට හැමදාම වගේ කිව්වෙ විභාගෙ ඉහලින්ම පාස් වෙලා නුවර හොඳ ඉස්කෝලෙකට ගිහින් හොඳට ඉගෙන ගන්න කියලයි. ඒ උනාට මට ඒ වගේ දේවල් ගැන ලොකු අදහසක්වත් බලාපොරොත්තුවක්වත් තිබුන්නැහැ ඒ කාලෙ.

අප්පච්චි නිවාඩුවක් කලින්ම අරගෙන තිබුන. විභාගෙ තියෙන්නෙ ගමේ ඉස්කෝලෙ නෙවෙයි. යන්න ඕන ටවුමට. මාව එක්කං යන්නයි අප්පච්චි නිවාඩු අරං තිබුනෙ. විභාගෙ පටන් ගන්න තිබුනෙ 10 ට මට මතක හැටියට. ඒ උනාට අප්පච්චි කිව්වෙ ටිකක් කලින් යන්න ඕන කෝකටත් කියල. ඒ නිසා අපි උදේ 07.30 ට විතර පාරට ආව යන්නත් පැයක් විතර යන නිසා. පැය බාගයක් විතර ගියත් කිසිම වාහනයක් ආවෙ නෑ.  අප්පච්චි විනාඩියෙන් විනාඩියට ඔරලෝසුව බල බල එහෙට මෙහෙට ගියා.

"පුතේ අපි යං පයිං. වාහනයක් ආවම නගිමු." අප්පච්චි කිව්ව. කිලෝ මීටර් දහයක් තියනව යන්න. මගෙ බෑග් එක ඉල්ලගත්ත අප්පච්චි ඒක කරේ දාගත්ත. මං යනව අප්පච්චිගෙ පස්සෙං. ඒ උනාට මට අප්පච්චිගෙ වේගෙං යන්න බෑ. අප්පච්චි වැඩ කලේ වත්තෙ නිසා එයාට වේගෙන් ගිහිං පුරුදුයි. අප්පච්චි ටිකක් දුර යනව, නතර වෙලා මං එනකං හිනා වෙවී බලං ඉන්නව. වැඩිම උනොත් කිලෝමීටරයක් යන්න ඇති. අප්පච්චිගෙ හිනා මූන ටිකක් අඳුරු උනා.

"වෙලාවට යාගන්න බැරි වෙයිද දන්නෑ"

වෙන මොකුත් නොකියපු අප්පච්චි මාව වඩාගත්ත. මට හරිම සන්තෝසයි. උඩිං යනව වගේ. පල්ලං තියන සමහර තැංවල අප්පච්චි දුවගෙනත් ගියා. අප්පච්චි මාව වඩාගෙන ආව කිලෝ මීටර් 6 ක් විතර.අන්තිමේ ටවුමට කිලෝමීටර් 2-3 ක් විතර තියෙද්දි හම්බ උනා ලොරියක්. (ගොම පටවං යන) ලොරියට නැගලත් අප්පච්චි මාව වඩාගෙනම හිටිය මගෙ ඇඟේ ගොම ගෑවෙයි කියල. කොහොමහරි වෙලාවට කලිං මං ආව විභාග ශාලාවට. 
එදා අප්පච්චිගෙ ඇගෙං ආපු දාඩිය සුවඳ මට අදටත් දැනෙනව වගේ. අප්පච්චිගෙ පුංචි ලෝකෙ කවදාහරි එලිය කරන්නෙ මං කියන බලපොරොත්තුව එයාගෙ හිතේ තිබුන. මං ඒක තේරුං ගත්තෙ පස්සෙ කාලෙක උනාට. ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල ආපු දවසෙත් අප්පච්චි මාව කරේ තියාගෙන ගෙදර එක්ක ආවෙ රජෙක් වගේ. වත්තෙ වල් සුද්ද කර කර හිටපු අප්පච්චි ඒ දාඩිය මඩ පිටිංම මාව වඩාගෙන තුරුල් කරං ගෙදරට ආපු විදිය මතක් වෙනකොට අදටත් මට ඇඬෙනව.

අප්පච්චි ඒ විඳපු දුක් කඳුලු දාඩිය වලට වන්දි ගෙවන්න මට කවමදාවත් හම්බ උනේ නැහැ. මගේ ජීවිතේ ජයග්‍රහණ දකින්න එයා හිටියෙත් නැහැ. ඒත් අදටත් මගේ ජීවිතේ වීරයා මගේ අප්පච්චි. මගේ පරමාදර්ශය අප්පච්චි. මං ජීවිතේ වැටෙන හැම මොහොතකම මං මතක් කර ගන්නෙ මගෙ අප්පච්චිව. මං දන්නව අප්පච්චි කොහේ හරි හොඳ තැනකට වෙලා මං දිහා බලාගෙන සතු‍ටු වෙනව ඇති. ඒ නිසා මට අප්පච්චිට කරන්න බැරි උන දේවල් අහිංසක දුප්පත් මිනිස්සුන්ට කරල දීල සතු‍ටු වෙනව. ඒ හැම පිනක්ම මගෙ අප්පච්චිට අනුමෝදන් කරනව. මගෙ අප්පච්චි නිවන් දැකල නැත්තං ඊලඟ ආත්මෙදිත් මගෙම අප්පච්චි වේවා කියල හැම පිංකමක් අවසානෙම ප්‍රාර්ථනා කරනව.

Friday, November 10, 2017

අපි අපේ වී ඉපදෙමුද ආයෙත් ලබා සරදම් ජීවිතෙන්
වෙන් වී නොයන්නට ආදරෙන්...
වෙන් වී නොයන්නට ආදරෙන් අපි අපේ වී ඉපදෙමුද ආයෙත්....
ලක්ෂ්මන් හේවාවිතාරණ කියන මේ සිංදුව ඉස්සෙල්ලම හිරු එකේ ඇහෙනකොට මම හිරු ෆෑන් කෙනෙක් නෙවෙයි... මම සිරස ෆෑන් කෙනෙක්. මේ කාලෙ මතක තියෙන ඕනම කෙනෙක් දන්නව ඒ කාලේ මේ දෙකේ වෙනස.
කොහොම උනත් එකෝමත් එක දවසක උදේ පාන්දර 2ට විතර මම නැගිටලා ලයිබ්‍රි එක පොලිෂ් කරන්න ලෑස්ති වෙලා හොරෙන්ම රේඩියෝ එක ඔන් කලා... ඒක තහනම් වැඩක්.
ඒත් මම සින්දු අහන්න ආසයි... ඒ නිසා ගුටි කන්න හරි කමක් නෑ කියල හිතාගෙන රේඩියෝ එක ඔන් කරනකොට ගියේ මේ සිංදුව. වොලියුම් එක 2 ට දාල හෙමීට මේ සිංන්දුව ඇහුව. එදා හිතට වැදුන තරම කොච්චරද කියනවනං අදටත් මේ සිංදුවට හරිම ආසයි.
එදා හිතුනෙ නැහැ මේ ගීතය මෙච්චර මගෙ ජීවිතේට ලං වෙයි කියල.
ඒත් අද...
මේ සිංදුව කියන්නෙ අපි දෙන්න ගැන...
ඔව්
මේ අපි දෙන්නම තමයි
ආදරෙයි මගෙ මැණික...

Monday, December 26, 2016

හිතට දැණුනු පොතක කොටස..

"එතකොට හෙට ඔබ නෑ... ඔබ ඉන්නෙ අද විතරයි..අද දවස හමාර උනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි.. අද අපි දෙන්න ඉන්නව. හෙටත් අනිද්දටත් කවදාටත් මම විතරයි... මොකක්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනව, කනව, බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව.ඒත් මම විතරයි... ඔබ නෑ...."

"යළිත් ආ හැකි නිසා නොවේද ඔහු යන්නේ...? නොගියොත් යළිත් නො ආ හැකිය. යාම හොඳයි. ගොස් ඒමද හොඳයි. ලොව ඇත්තේ යාම ඒමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය.
ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්න ඇහැකි
මළගිය ඇත්තන් කැ‍ටුවම...."

මළවුන්ගේ අවුරුදුදා
එදිරිවීර සරත්චන්ද්‍ර

සොඳුරු ප්‍රේමයේ දුක්බර බව පද පේළි කීපයකින් කියල දෙන මේ සුන්දර පද පේළි ටිකට අදටත් ආසයි.
හිතුවෙ නෑ මේ ටික මගෙ ජීවිතේටත් මෙච්චර ලං වෙයි කියල.
ආදරෙයි මගෙ අම්මි

නොරිකො දෙවෙන්දරාට ආදරේ කරාට වඩා ගොඩක්.


Monday, December 19, 2016

මල් සුවඳ.......


ඉස්සර අප්පච්චිගෙ අතේ එල්ලිලා කනාමැඳිරි එළිවලින් එලිය වෙච්ච පාර දිගේ රෑට පන්සල් යනකොට දැනිච්ච එක සුවඳක් තවමත් මතකයි. හිතාගන්න බැරි සුවඳක්.
 "අප්පච්චි මොකක්ද ඒ සුවඳ?"
ඒ පුතේ රෑ කුමාරි මල්වල සුවඳ......
"කෝ අප්පච්චි රෑ කුමාරි මල්?"
රෑ කුමාරි මල් අපිට පේන්නෙ නැහැනෙ මගෙ පුතේ....
"ඇයි ඒ අප්පච්චි මෙච්චර සුවඳ මල් අපිට පේන්නෙ නැත්තෙ?"
පුතේ ලෝකෙ ලස්සනම දේවල් අපිට පේන්නෙ නැහැ. ඒවගේ දේවල්වල සුවඳ අපිට දැනෙනව විතරයි.
ඒ දේවල් අපිට දකින්නවත් අල්ලන්නවත් හම්බ වෙන්නෙ නැහැ.
උඹත් දවසක රෑ කුමාරි මලක් වෙයං.

මේක ඉස්සර එක දවසක අප්පච්චියි මායි අතරෙ වෙච්ච එක කතාවක්. එදා මට මගෙ අප්පච්චි එක්ක යක්ස තරහයි. කියන මගුලක් තේරෙන්න කියන්න එපැයි.
අනේ මගේ රත්තරං අප්පච්චි.... අද මට හොඳටම තේරෙනව.
අප්පච්චි නැති එක විතරයි අඩු.

Sunday, February 7, 2016

මතක වස්ත්‍ර පිංකම

ආසාවට ඇඳලත් නැති
එහෙම අඳින්න උවමනාවක් උනෙත් නැති
ටයි කෝට් ඇඳපු අප්පච්චි
ඉන්නව සාලෙ මැද

කවදාවත් ආවෙත් නැති
එහෙම එන්න උවමනාවක් තිබුනෙත් නැති
නෑදෑයො ගොඩක්
ගෙදර හැම තැනම

හම්බ උනාට හිනා වෙලා නැති
එහෙම කරන්න ඕන කියල හිතලවත් නැති
ගමේ මිනිස්සු
මිදුල හැම තැනම

උදව් ඉල්ලන්න විතරක් ආපු
වෙන වෙලාවට උන්නද මලාද නොබලපු
අප්පච්චිගෙ යාලුවො
කෙලවරේ බංකුවක

අප්පච්චි නැති බව දන්න
ඒත් ඒක පිලිගන්න අකමැති
මම
දැං මතක බනේ.....

නයිට් මේල් එක

ත්‍රිකුණාමලේට යන කෝච්චියට නගින්න යනකොටත් පැංචා මගෙත් එක්ක ආවා... රෑ 8.50 ට කෝච්චිය හෙමීට පිටත් වෙනකොට මගෙ දිහා බලාගෙන ඉඳපු ඒ රතු වෙච්ච අහිංසක ඇස් දෙක අදටත් මතකයි.... මට පනිශ්මන්ට් ට්‍රාන්සර් එකක් ආවෙ හිතුවෙවත් නැති වෙලාවක. කරන්න දෙයක් නෑ. යන්නම වෙනවා... පැංච අරං දීපු ශොපිං බෑග් එක දිහා බැලුවා. වතුර බෝතල් දෙකක්... බිස්කට් පැකට් දෙකක්... කිරි පැකට් 3 ක්... තව වෙනම පොඩි බෑග් එකක්.. ඉස්සෙල්ලම බැලුවෙ පොඩි බෑග් එකේ මොනවද කියල. බෙහෙත් පෙති දාපු පොඩි කරදහි මලු.... බංඩි පේනිං... ඔලුව රිදෙනවට.. කැස්සට... හෙම්බි ආවොත්... ඔය වගේ එක එක දේවල් ලියපු පොඩි බෙහෙත් පැකට්. වැටෙන්න ඔන්න මෙන්න තිබුන කඳුලු ටික නොකියම ඇහෙන් බිමට වැ‍ටුනා. මගෙ කෙල්ල මගෙ ගැන හිතන තරම.
හොරෙන් මල්ලක දාං ආපු බෝතලේ එලියට ගත්තෙ පොල්ගහවෙල පහු උනාම... බර්ත් කන්ට්‍රෝලර් (නිදන මැදිරි බලන ඩයල් එක) ගෙං ඒක බේර ගත්තෙ මාර අමාරුවෙං. හිතේ දුකටත් එක්කම හෙන රේට් එකෙං ගහල දැම්ම. කොලඹම ඉඳලත් බබාව හම්බ උනේ මාස ගානකට සැරයයි... දැං මොනව වෙයිද.කොච්චර කාලෙකිං ආයෙම ඇවිත් මගෙ මැනිකව බලන්න හම්බ වෙයිද... දාහක් දේවල් හිත හිත බීගත්තා හොඳටම..කුරුණෑගල පහු උනා නං මතකයි. ඊට පස්සෙ මතක අර යකා ඇවිත් ට්‍රින්කො වලදි මාව ඇහැරෙව්වම..!!
යකෙක් වගේ ඩයල් එකක් එක්ක පනිශ්මන්ට් ආපු අලුත් කොල්ලෙක් සෙට් උනාම කොහොමද.... ජීවිතේ ඒ රහ නං නියමෙටම විඳගත්තා ඒ කාලෙ අතරතුර... හැබැයි ආයෙම කොලඹ එන්න එනකොට මෑන් දීපු රෙකමන්ඩේශන් එක මට මගෙ ජීවිත කාලෙටම ඇති.
බහිනකොට ෆෝන් එක ඕෆ් වෙලා...
මිස් කෝල් ඇලට් එකේ කෝල් පනස් ගානක්...
ගිය ගමංම අහු වෙච්ච තැනකිං ගත්ත කෝල් එකක් මගෙ කෙල්ලට.
ෆෝන් එකෙන් මගෙ කෙල්ල වැඩියෙංම අඬනව අහපු වෙලාව... මටත් මාර දුකයි. කරන්න දෙයක් නෑ... හවස ගන්නං කියල තිබ්බ.
ආයේම දවසක නයිට් මේල් එකේ කොලඹ යනදවසක් එනකං.....

ආදරණීය වැස්ස

හීතලට වැටෙන හිරි පොද වැස්ස මහා වැස්සක් වෙන්න මහ වෙලාවක් ගියේ නෑ... වැහි පොදෙන් බේරෙන්න විදිහක් නැති තැන මම තීරණය කරා තෙමෙන තරමක් තෙමෙන්න. කමක් නෑ.. මහ වැස්ස මැද්දෙන් හිත හිරි වට්ටන ලස්සන හිනාවකුත් එක්කම මගෙ පැංච ආව... කුඩයක් අරං ආවට මගෙ මැණික හොඳටම තෙමිලා.. මාව දැක්ක විතරයි මගෙ කෙල්ලගෙ හිනාව වැස්සට හැන්ගෙන කුරුල්ලෙක් වගේ අතුරුදහන් වෙලා ගියා... කෙල්ල මගෙ ලඟට ආවෙ දුවගෙන.
අප්පච්චි හොඳටම තෙමිලා.... මගෙ මැණික දුකින් කියන ගමන් අතේ තිබුන පුංචි ලේන්සුවෙන් මගෙ ඔලුව පිහදාන්න පටං ගත්ත.
මම ඒ තරහ වෙච්ච ඇස් දිහා බලාගෙන හිටිය.
තරහට වඩා ආදරේ පිරිච්ච ඒ ඇස් දිහා බලාගෙන ඉන්න මං කොච්චර ආසද....
මට හිනා.
හිනාවෙන්නෙ දඟ වැඩ කරල
පැංච පිපිරෙන්න ඔන්න මෙන්න හිනාවෙන් කිව්වා....
බදාගන්න තිබුනනං මගෙ කෙල්ල... එහෙම කරන්න බැහැනෙ මේක රීගල් එක ඉස්සරහ බස් හෝල්ට් එක.....
දැන් කොහෙද යන්නෙ..
කවමදාවත් මගෙන් හරියට උත්තරයක් නොලැබුනු ප්‍රශ්නෙ පැංච ආයෙත් ඇහුව.
දන්නෑ...
මම හැමදාම දුන්න උත්තරේ දුන්න.
ආයෙත් තරහ ඇස්...
ආදරේ පිරිල
හරි පලවෙනියට එන AC බස් එකේ යමු.....
හා...... ආයෙත් ආදරෙං හිනාවෙන ඇස්...
ආවෙ පානදුරේ යන බස් එකක්.. අපි දෙන්න නැගල අපිටම ලියල දීපු අපිට හොඳටම පුරුදු සීට් එකට ගියා...
ලඟ පාතක කවුරුත් නෑ....
ඒ උණුසුම් හුස්ම ඉල්ලන දේ....
කොච්චර දුර ගියාද කියන්න දන්නෙ නෑ....
ආදරණීය වැස්ස........