Monday, December 26, 2016

හිතට දැණුනු පොතක කොටස..

"එතකොට හෙට ඔබ නෑ... ඔබ ඉන්නෙ අද විතරයි..අද දවස හමාර උනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි.. අද අපි දෙන්න ඉන්නව. හෙටත් අනිද්දටත් කවදාටත් මම විතරයි... මොකක්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනව, කනව, බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව.ඒත් මම විතරයි... ඔබ නෑ...."

"යළිත් ආ හැකි නිසා නොවේද ඔහු යන්නේ...? නොගියොත් යළිත් නො ආ හැකිය. යාම හොඳයි. ගොස් ඒමද හොඳයි. ලොව ඇත්තේ යාම ඒමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය.
ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවත එන්න ඇහැකි
මළගිය ඇත්තන් කැ‍ටුවම...."

මළවුන්ගේ අවුරුදුදා
එදිරිවීර සරත්චන්ද්‍ර

සොඳුරු ප්‍රේමයේ දුක්බර බව පද පේළි කීපයකින් කියල දෙන මේ සුන්දර පද පේළි ටිකට අදටත් ආසයි.
හිතුවෙ නෑ මේ ටික මගෙ ජීවිතේටත් මෙච්චර ලං වෙයි කියල.
ආදරෙයි මගෙ අම්මි

නොරිකො දෙවෙන්දරාට ආදරේ කරාට වඩා ගොඩක්.


Monday, December 19, 2016

මල් සුවඳ.......


ඉස්සර අප්පච්චිගෙ අතේ එල්ලිලා කනාමැඳිරි එළිවලින් එලිය වෙච්ච පාර දිගේ රෑට පන්සල් යනකොට දැනිච්ච එක සුවඳක් තවමත් මතකයි. හිතාගන්න බැරි සුවඳක්.
 "අප්පච්චි මොකක්ද ඒ සුවඳ?"
ඒ පුතේ රෑ කුමාරි මල්වල සුවඳ......
"කෝ අප්පච්චි රෑ කුමාරි මල්?"
රෑ කුමාරි මල් අපිට පේන්නෙ නැහැනෙ මගෙ පුතේ....
"ඇයි ඒ අප්පච්චි මෙච්චර සුවඳ මල් අපිට පේන්නෙ නැත්තෙ?"
පුතේ ලෝකෙ ලස්සනම දේවල් අපිට පේන්නෙ නැහැ. ඒවගේ දේවල්වල සුවඳ අපිට දැනෙනව විතරයි.
ඒ දේවල් අපිට දකින්නවත් අල්ලන්නවත් හම්බ වෙන්නෙ නැහැ.
උඹත් දවසක රෑ කුමාරි මලක් වෙයං.

මේක ඉස්සර එක දවසක අප්පච්චියි මායි අතරෙ වෙච්ච එක කතාවක්. එදා මට මගෙ අප්පච්චි එක්ක යක්ස තරහයි. කියන මගුලක් තේරෙන්න කියන්න එපැයි.
අනේ මගේ රත්තරං අප්පච්චි.... අද මට හොඳටම තේරෙනව.
අප්පච්චි නැති එක විතරයි අඩු.

Sunday, February 7, 2016

මතක වස්ත්‍ර පිංකම

ආසාවට ඇඳලත් නැති
එහෙම අඳින්න උවමනාවක් උනෙත් නැති
ටයි කෝට් ඇඳපු අප්පච්චි
ඉන්නව සාලෙ මැද

කවදාවත් ආවෙත් නැති
එහෙම එන්න උවමනාවක් තිබුනෙත් නැති
නෑදෑයො ගොඩක්
ගෙදර හැම තැනම

හම්බ උනාට හිනා වෙලා නැති
එහෙම කරන්න ඕන කියල හිතලවත් නැති
ගමේ මිනිස්සු
මිදුල හැම තැනම

උදව් ඉල්ලන්න විතරක් ආපු
වෙන වෙලාවට උන්නද මලාද නොබලපු
අප්පච්චිගෙ යාලුවො
කෙලවරේ බංකුවක

අප්පච්චි නැති බව දන්න
ඒත් ඒක පිලිගන්න අකමැති
මම
දැං මතක බනේ.....

නයිට් මේල් එක

ත්‍රිකුණාමලේට යන කෝච්චියට නගින්න යනකොටත් පැංචා මගෙත් එක්ක ආවා... රෑ 8.50 ට කෝච්චිය හෙමීට පිටත් වෙනකොට මගෙ දිහා බලාගෙන ඉඳපු ඒ රතු වෙච්ච අහිංසක ඇස් දෙක අදටත් මතකයි.... මට පනිශ්මන්ට් ට්‍රාන්සර් එකක් ආවෙ හිතුවෙවත් නැති වෙලාවක. කරන්න දෙයක් නෑ. යන්නම වෙනවා... පැංච අරං දීපු ශොපිං බෑග් එක දිහා බැලුවා. වතුර බෝතල් දෙකක්... බිස්කට් පැකට් දෙකක්... කිරි පැකට් 3 ක්... තව වෙනම පොඩි බෑග් එකක්.. ඉස්සෙල්ලම බැලුවෙ පොඩි බෑග් එකේ මොනවද කියල. බෙහෙත් පෙති දාපු පොඩි කරදහි මලු.... බංඩි පේනිං... ඔලුව රිදෙනවට.. කැස්සට... හෙම්බි ආවොත්... ඔය වගේ එක එක දේවල් ලියපු පොඩි බෙහෙත් පැකට්. වැටෙන්න ඔන්න මෙන්න තිබුන කඳුලු ටික නොකියම ඇහෙන් බිමට වැ‍ටුනා. මගෙ කෙල්ල මගෙ ගැන හිතන තරම.
හොරෙන් මල්ලක දාං ආපු බෝතලේ එලියට ගත්තෙ පොල්ගහවෙල පහු උනාම... බර්ත් කන්ට්‍රෝලර් (නිදන මැදිරි බලන ඩයල් එක) ගෙං ඒක බේර ගත්තෙ මාර අමාරුවෙං. හිතේ දුකටත් එක්කම හෙන රේට් එකෙං ගහල දැම්ම. කොලඹම ඉඳලත් බබාව හම්බ උනේ මාස ගානකට සැරයයි... දැං මොනව වෙයිද.කොච්චර කාලෙකිං ආයෙම ඇවිත් මගෙ මැනිකව බලන්න හම්බ වෙයිද... දාහක් දේවල් හිත හිත බීගත්තා හොඳටම..කුරුණෑගල පහු උනා නං මතකයි. ඊට පස්සෙ මතක අර යකා ඇවිත් ට්‍රින්කො වලදි මාව ඇහැරෙව්වම..!!
යකෙක් වගේ ඩයල් එකක් එක්ක පනිශ්මන්ට් ආපු අලුත් කොල්ලෙක් සෙට් උනාම කොහොමද.... ජීවිතේ ඒ රහ නං නියමෙටම විඳගත්තා ඒ කාලෙ අතරතුර... හැබැයි ආයෙම කොලඹ එන්න එනකොට මෑන් දීපු රෙකමන්ඩේශන් එක මට මගෙ ජීවිත කාලෙටම ඇති.
බහිනකොට ෆෝන් එක ඕෆ් වෙලා...
මිස් කෝල් ඇලට් එකේ කෝල් පනස් ගානක්...
ගිය ගමංම අහු වෙච්ච තැනකිං ගත්ත කෝල් එකක් මගෙ කෙල්ලට.
ෆෝන් එකෙන් මගෙ කෙල්ල වැඩියෙංම අඬනව අහපු වෙලාව... මටත් මාර දුකයි. කරන්න දෙයක් නෑ... හවස ගන්නං කියල තිබ්බ.
ආයේම දවසක නයිට් මේල් එකේ කොලඹ යනදවසක් එනකං.....

ආදරණීය වැස්ස

හීතලට වැටෙන හිරි පොද වැස්ස මහා වැස්සක් වෙන්න මහ වෙලාවක් ගියේ නෑ... වැහි පොදෙන් බේරෙන්න විදිහක් නැති තැන මම තීරණය කරා තෙමෙන තරමක් තෙමෙන්න. කමක් නෑ.. මහ වැස්ස මැද්දෙන් හිත හිරි වට්ටන ලස්සන හිනාවකුත් එක්කම මගෙ පැංච ආව... කුඩයක් අරං ආවට මගෙ මැණික හොඳටම තෙමිලා.. මාව දැක්ක විතරයි මගෙ කෙල්ලගෙ හිනාව වැස්සට හැන්ගෙන කුරුල්ලෙක් වගේ අතුරුදහන් වෙලා ගියා... කෙල්ල මගෙ ලඟට ආවෙ දුවගෙන.
අප්පච්චි හොඳටම තෙමිලා.... මගෙ මැණික දුකින් කියන ගමන් අතේ තිබුන පුංචි ලේන්සුවෙන් මගෙ ඔලුව පිහදාන්න පටං ගත්ත.
මම ඒ තරහ වෙච්ච ඇස් දිහා බලාගෙන හිටිය.
තරහට වඩා ආදරේ පිරිච්ච ඒ ඇස් දිහා බලාගෙන ඉන්න මං කොච්චර ආසද....
මට හිනා.
හිනාවෙන්නෙ දඟ වැඩ කරල
පැංච පිපිරෙන්න ඔන්න මෙන්න හිනාවෙන් කිව්වා....
බදාගන්න තිබුනනං මගෙ කෙල්ල... එහෙම කරන්න බැහැනෙ මේක රීගල් එක ඉස්සරහ බස් හෝල්ට් එක.....
දැන් කොහෙද යන්නෙ..
කවමදාවත් මගෙන් හරියට උත්තරයක් නොලැබුනු ප්‍රශ්නෙ පැංච ආයෙත් ඇහුව.
දන්නෑ...
මම හැමදාම දුන්න උත්තරේ දුන්න.
ආයෙත් තරහ ඇස්...
ආදරේ පිරිල
හරි පලවෙනියට එන AC බස් එකේ යමු.....
හා...... ආයෙත් ආදරෙං හිනාවෙන ඇස්...
ආවෙ පානදුරේ යන බස් එකක්.. අපි දෙන්න නැගල අපිටම ලියල දීපු අපිට හොඳටම පුරුදු සීට් එකට ගියා...
ලඟ පාතක කවුරුත් නෑ....
ඒ උණුසුම් හුස්ම ඉල්ලන දේ....
කොච්චර දුර ගියාද කියන්න දන්නෙ නෑ....
ආදරණීය වැස්ස........

Saturday, January 23, 2016

දුරුතු සඳ යට


මම වගේම ඔයත් මේ හඳ දිහා බලාගෙන ඇති.. මේ දුරුතු සඳ කොච්චර නං ලස්සනයිද... හන්තානට උඩින් පායන මේ හඳම නායබැද්දට උඩිං පායනවා ඔයා බලාගෙන ඇති. ඒත් ඒ මං වගේ දුකින් නෙවෙයි... පලවෙනි රාත්‍රිය ගත කරන්න ආපු මනමාලියක් වෙලා.. සතුටින්.. ඒ හඳ යටම මම මැරෙනකං බිබී තනියම ඉන්නවා... ඔයා එදා වගේ මගේ ලඟ නැහැ. මේ හඳ වගේමයි.. ඇත්තමයි මේ සඳත් ඔයා වගේමයි.. හිත නිවා සනසන ලස්සනක් තියනවා සඳට වගේම ඔයාටත්... ඔයා තරම්ම දුරයි මේ සඳත් මට... ඒත් මම ඒ සුන්දරත්වය විඳිනවා... ඒ ලස්සනින් සැනසෙනවා.. සඳ වගේම ඔයත් දන්නෙ නැහැ  මම දුරින් ඉඳගෙන ඔයා ගැන ගැන හිත හිතා ඉන්නව කියලා.. හඳ හැමදාමත් අයිති අහසටයි.. අහසට විතරමයි...කවමදාවත් ඒ හඳ පොලවට අයිති නොවේවි... ඇත්තමයි රත්තරං.... නුඹ සඳමයි.. මේ සඳ නුඹමයි....
නුඹ හිමිකරගත්ත ඒ විසල් අහස යට මම එකම එක අහිංසක මනුස්සයෙක් විතරයි...

දුරුතු හඳ යට සඳ එලිය විසිරිච්ච මේ වගේ රෑක ඔයාගෙ අත් දෙක අල්ලගෙන ඈත කඳු දිහා බලාගෙන නිවෙන දැල්වෙන එළි දිහා බලාගෙන ඉන්න ඒ දවස්වල කොච්චර ආසාවක් තිබුනද.. මට මතකයි ඉස්සර අපි දෙන්න පැය ගනන් ෆෝන් එකෙං කතා කර කර ඒ ලස්සන හීන මැව්ව හැටි. අපි කොච්චරක් නං දේවල් කතා කරල තියෙනවද. අවුරුදු 8 ක් තිස්සෙ හම්බ වෙන්න ලැබුනෙ කොච්චර පොඩි වෙලාවක්ද.. අනෙක් හැම වෙලේම අපි හිටියෙ කතා කර කර. කෑවද බිව්වද කියල අහන එකේ ඉඳන් මේ ලෝකෙ අපි අපේ ජීවිතේ ගැන, අනාගතය ගැන, අපේ ලමයි ගැන, අපේ අම්මලා ගැන, සහෝදර සහෝදරියො ගැන තව එක එක විකාර දේවල් ගැන කොච්චර නං දේවල්ද.... ආයෙම කිසිම දවසක එන්නෙ නැති ඒ ලස්සන අතීතය අද නං හිත දුකෙන් පුරවලා දාන මතකයන් විතරක්ම වෙලා. මගෙ රත්තරන් කෙල්ල අද වෙන කෙනෙක්ගෙ වෙලා මගෙන් ඈතටම ගිහින්. මම දන්නෙ නැහැ අඩුම ගානෙ මම ලියන කියන දේවල්වත් ඔයා දකිනවද නැද්ද කියල. මගෙ පැංචෝ... ඔයා දැක්කත් නැතත් මේ ජීවිතේ යම් කිසි දවසක මේ දේවල් ලියල හරි මගෙ හිත සැනසෙන්න මම හැම දේම ලියනවා.... ඒ හැම දෙයක්ම අතරෙ කවදාහරි දවසක එක මොහොතකට හරි අපි අවුරුදු ගානක් මවපු හීන සැබෑ කර ගන්න හිතේ කොනක පුංචි බලාපොරොත්තුවකුත් තියනවා. ඒ පුංචි බලාපොරොත්තුව ඇති මගෙ අම්මි මට මගෙ ජීවිතේ ඉතුරු ටික කාලෙ කොහොම හරි ඇදගෙන යන්න.....

Wednesday, January 20, 2016

අඬන්න බැරි වෙලාවට ලියපු කවි

මතු අත්භවයක හමුවී එක්වන
පැතුම හිතේ රඳවා
වෙන් වී යමු අපි ප්‍රථම ප්‍රේමයේ
විරහව හද රඳවා.....

පෙරදා එක්වී අත්වැල් බැඳගෙන
පැතූ පැතුම් නිමවා
කඳුල සුසුම පිරි අනාගතය වෙත
යමු අපි හිත රිදවා....

නුඹේ ලඟින් ඉඳ ආ මේ මහ දුර
මතක දුරක රඳවා
බිඳුණු සිත අරං ජීවිත මංපෙත
දුරක යන්න බැරුවා...

හැඳින්වීමෙම ඉතිරි ටික

ඉතිං මම ආවා ජොබ් එකකට. පඩි නඩිද පහසුකංද හැමදේම සුපිරි. මට පුලුවන් උනා අම්මව කොලඹ ගෙනත් බෙහෙත් කරන්න. ගෙදර ලස්සනට හදා ගන්න. වාහනයක් ගන්න. පුලුවන් හැම වෙලාවටම මං වගේ අමාරුවෙන් ඉගෙන ගන්න කාට හරි උදව් කරන්න. කොටින්ම මගෙ ජීවිතේ මාර පර්ෆෙක්ට් උනා එක දෙයක් ඇරුනම. ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම අම්බානක් කෙල්ලන්ට ලයින් එක දාල තිබුනට මටම කියල කෙල්ලෙක් ඒ වෙනකොටත් මට නැහැ. කොහොමත් ඒ කාලෙ එහෙම දෙයක් කරන්න තඹ සත පහක්වත් තිබුනෙත් නැහැනෙ.
ඊටත් වඩා මම පුංචි කාලෙ (ඒ කියන්නෙ ලව් එකක් දැනෙන කාලෙ!) ඉඳලම සෑහෙන්න සත්්‍ය ප්‍රේම භෘංග රාජයෙක්. මම හිතුවෙ අම්මගෙ අප්පච්චිගෙ ආදරේ වගේ ආදරයක් කවදා හරි ලබන්න ඕන කියලයි. අප්පච්චි අම්මට වඩා අවුරුදු 2 ක් බාලයි. ඒ කාලෙ ගෙවල්වලින් කැමැත්ත ගන්න ඒ දෙන්න කරපු දේවල් සමහර වෙලාවට අපිටත් කියල තියෙනව. ඔහොම ඉන්න කාලෙ තමයි මට ‍රැග් එකක් හැටියට හම්බ උනේ පෙන් පෑල් කෙනෙක් සෙට් කර ගත යුතුය කියල. අනේ ඒකත් Junior Observer එකෙන් කියහන්කො. මම හොයල බලල ඒකෙ ඉඳපු වයස වැඩිම කෙල්ල බලල ලිව්ව. අනේ එතකොට මේ කෙල්ලට වයස 16 යි. (අවුලක් නෑ මටත් 22 යි ඒ වෙනකොට) මම මගෙ විස්තර බොරුවටත් එක්ක ලිව්ව. මට ඕන වෙච්ච එකම දේ ලියුමක් ගෙන්න ගන්න විතරයි ඒකත් ‍රැග් එකෙන් බේරෙන්න. සතියක් යන්න කලින් මෙන්න දෙයියනේ මට ඇවිත් ලිව්මක්. ලස්සන කවරෙක ලස්සන අකුරෙන් ලියපු ලස්සන ලිව්මක්. මම බැලුව මේ ලිව්ම පෙන්නල ‍රැග් එකෙන් බේරෙන්න ගියොත් එහෙම මුං එකෙක් මේකෙ ඇඩ්‍රස් එකට ලියන්න බැරි නැහැ. ඒ නිසා තව දුරටත් පරිප්පු කන්න හරි මේක නොපෙන්නා ඉන්නව කියලා. ඒක නිසා ගුටි කෑවත් සනීපයි කියල මම කිව්ව ලියුං ආවෙ නැහැ කියල. අවුලක් නැහැ මගෙ senior උත්තමයො ටික මට 4-5ක් ඇනල මාව අතෑරල දැම්ම. (දැං උඹලට මගෙ ජොබ් එක ටිකක් තේරෙනව ඇති) මමත් සද්ද නැතුව ටික කාලයක් ඉඳල ආයෙම මේකිට ලියන්න පටන් ගත්තා. මෙහෙම අපෙ පෑනෙ මිතුරුකම දළු දාලා වැඩුනා. සතියකට සැරයක් එන ලියුම බලන්න මග බලාගෙන ඉන්න එක මට පුරුද්දකට ගියා. දවසක් දෙකක් ලියුං පරක්කු වෙනකොට හිතට පුංචි වේදනාවක් දැනෙන්න පටන් ගත්තා. මොබයිල් ෆෝන්ද අරවද මේවද මෙකී නොකී පට්ට හයි ටෙක් මේ කාලෙ මගෙ මේ කතාව විහිලුවක් වගේ නේ? ඒත් ඒක උනේ එහෙම තමයි.
කාලය ඉගිලිලා ගියා. ටික කාලයක් නෙවෙයි අවුරුදුම 2ක්... මේ අතරෙ මගෙ ට්‍රේනිං ඔක්කොම ඉවර වෙන්නත් ආවා. හරියටම 2005 අවුරුද්දෙ නත්තල් දවසෙ රෑ තමයි මම මගෙ කෙල්ලගෙ කටහඬ ඇහුවෙ ඉස්සෙල්ලම. එදා එයා මට කෝල් කලා. වැඩිය වෙලාවක් කතා කරන්න හම්බ උනේ නැහැ. අම්ම ෆෝන් එක ගන්නව පුලුවන් වෙලාවක කතා කරන්නං කියල මෙයා ෆෝන් එක තිබ්බා. එදා ඉඳන් මට තිබුනෙ කවද හරි ආයෙමත් කෙල්ල කෝල් කරයි කියල බලං ඉන්න එක තමයි. ඒ අතරෙ අපෙ ලියුං ගනුදෙනුව නං ඉවර නොවීම රන් උනා. මේ වෙනකොට කෙල්ල AL කරන්නත් ලඟයි. මමත් පුලුවං උපරිමෙන් කෙල්ලට ඉගෙන ගන්නත් පාඩං කරන්නත් උදව් කලා. මේ වෙනකොට මම මේ කවදාවත් නොදැකපු කෙල්ලට පුදුම විදිහට හිතිං ආදරේ කරන්න පටන් අරං තිබුනෙ. කවදාවත් මම ඒක කෙල්ලට කිව්වෙ නැහැ එයාගෙ පාඩං වැඩවලට කරදර වෙයි කියල හිතල. අන්තිමට විභාග ප්‍රතිපල ආපු දවසෙ රෑ මං එච්චර කල් හිතේ හිර කරං ඉඳපු ආදරේ එයාට කියල දැම්මා.
'ඔයා මාව දකින්නෙවත් නැතුව මට ආදරේ කරන්න එපා. මාව දැක්කම ඔයාට මාවත් එපා වෙලා ආදරෙත් එපා වෙලා යයි.'
'බබෝ මම ඔයාට ආදරෙයි කියන එක මම තීරණය කරලා ඉවරයි. ඒකට ඔයාගෙ ලස්සනවත් ඔයාට සල්ලි තියෙනවද නැද්ද කියන එකවත් ඔයාගෙ ගෙදර දේවල්වත් මට අදාල නැහැ.'
මේක තමයි ඒ වෙලාවෙ අපේ දෙබස.
හැබැයි අන්තිමේට මෙයා මට කිව්ව එක දවසක් ඇවිත් එයාව හම්බ වෙන්න ඊට පස්සෙ මම කැමති තීරණයක් ගන්න කියලා. මම කිව්වා ඔව් මම අනිවා එනවා හැබැයි ඔයාගෙ ලස්සන බලන්නවත් එහෙම දේකට නෙවෙයි මං මෙච්චර කල් ආදරේ කරපු සහ මොනම හේතුවක් නිසාවත් ජීවිත කාලෙම වෙනස් නොවෙන ආදරයක් තියෙන කෙල්ලව බලන්නයි කියල.
ආසාවෙන් බලං ඉඳපු ඒ දවස උදා උනා. කෙල්ල යාළුවො වගයක් හම්බ වෙන්න යනව කියල ගෙදරින් ආවා. මමත් ගියා ගම්පහ ටව්න් එකට. කෙල්ල මට කිව්වෙ රංජන් ලංකා එක ඉස්සරහට එන්න කියල. මමත් උපරිම පිලිවෙලට ඩෙනිමයි ටී ශර්ට් එකයි ගල් බාටා දෙකයි දාගෙන ගියා. මටත් ඕන උනා එහෙම ගියාම මෙයා මොකක්ද කියන්නෙ බලන්න.
ගිහිං විනාඩි 10 කිං විතර කෙල්ල කෝල් එකක් දාල කිව්ව ඇවිල්ල ඉන්නෙ කියල. මම ඇහුව මොන පාටද ඇඳං ඉන්නෙ කියල (ජරා හිතට අහන එක නෙවෙයි :P) රතු පාට SWEET කියල ගහල තියෙන ටී ශර්ට් එකකුයි නිල් ඩෙනිමයි. යාලුවෙක් එක්ක ඉන්නෙ කියලත් කිව්ව. මම වටේටම ඇහැ දාල බැලුවා ඉන්නව මාරම මාර ලස්සන සුරංගනාවියක් වගේ කෙල්ලෙක්. කිව්ව දේවල් මැච් වෙන. කෝකටත් ආයෙම ෆෝන් එකට රිං කරලම බැලුවා. දෙයියනේ මේ ඒ කෙල්ලම තමයි. කෝ මැට්ටෝ ඉක්මනට එන්න මට මෙතන ගොඩක් වෙලා ඉන්න බැහැ කියල කිව්වා. දෙයියනේ මේ කෙල්ල මාව දැකල මොනවා කියයිද කියල හිත හිතම මම එයා ලඟට ගිහින් ඇහුව XXXX නේද? කියල.
හ්ම්.... එයා ලස්සනට හිනා උනා. දුලා මෙයා තමයි මං අර කිව්වෙ... එයා යාලුවටත් මාව හඳුන්වලා දුන්නා. එහෙනං කෙල්ලෙ... මං ගියා. යාලුවා එහෙමම මාරු උනා.
'ඉතිං' මං දන්න එකම ස්ටාට් වචනෙ දැම්මා.
'ඉතිං නෙවෙයි මෙතන ගොඩක් මම දන්න අය ඉන්නව. අර ජාඇල බස් එකට නගින්න මම එන්නං'
මමත් ගිහින් බස් එකට නැග්ගා. ටිකකින් මෙයත් ආව. මම එයාට අයිනට යන්න ඉඩ දුන්නා. මට එයාගෙ සුවඳ දැනුනෙ ඒ වෙලාවෙ ඉස්සෙල්ලම. අදටත් මට ඒ සුවඳ මතකයි. මගෙ කෙල්ල මගෙං දුරස් වෙලා අවුරුදු දෙකක් ගත උනත් ඒ සුවඳ අදටත් මතකයි. සංසාරෙ පුරාවටම ඒ සුවඳ මට අමතක වෙන්නෙ නැහැ. වෙනදට පැය ගානක් ගිහින් ජාඇලට එන බස් එක එදා එක මොහොතිං ආවා. ඒ එක මොහොතට අපි ගොඩක් දේවල් කතා කලා. මගෙ පුංචි කෙල්ලගෙ පුංචි රෝස පාට අත අල්ලං ඒ ලස්සන ඇස් දෙක දිහා බලං මම මගේ සංසාර පොරොන්දුව දුන්නා. ලස්සන ඇස් දෙකේ කඳුලු පොදියක් ගුලි කරගෙන මගෙ කෙල්ල මගෙම වෙන්න පොරොන්දු උනා. මේ ලෝකෙම මගේ උනා. මහ වැහි වැස්සා, ඉඩෝර ආවා, කුනා‍ටු ආවා. ඒ මොකුත් අපි දැනං හිටියෙ නෑ. අපි අපේම උනා එච්චරයි.
ඒත් අපේ කතාව එච්චරම ලස්සන උනේ නෑ.................

Monday, January 18, 2016

පොඩි හැඳින්වීමක්

ජීවිතේ විඳින්න තියෙන දුක් ඔක්කොම විඳගෙන අමාරුවෙන් තැනකට ආපු කොල්ලෙක් මම. අදටත් හැරිලා බලනකොට මගෙ ජීවිතේ ගැන මටම පුදුමයි. නුවරටත් සෑහෙන දුරකින් තියන ගමේ ඉස්කෝලෙකට ගිහිං ශිෂ්්‍යත්වෙ ඉහලින්ම පාස් වෙලා නුවර ඉහලම ඉස්කෝලෙකට ආවෙ මගෙ උත්සාහයට එකතු වෙච්ච අප්පච්චිගෙ දාඩිය කඳුලුවලට පිං සිද්ද වෙන්න. නුවරට ආවට පස්සෙ තමයි තේරුනේ ගමේ ඉස්කෝලෙ වගේ නිකං ඉඳල පලවෙනිය වෙන්න බැහැ කියල. අම්බානක මහන්සි උනත් පලවෙනි 10 ඇතුලට එන්න මාර කට්ටක් කන්න උනා. එහෙම උනත් මට අප්පච්චිගෙ හීන කඩා දාන්න බැහැ කිසිම හේතුවක් නිසා. ඒ හින්දා ගොඩාරියක් මහන්සි වෙලා පාඩං කලෙ මම. O/L ඉවර වෙලා ගණිතය කරන්න ඕන කියල කියපු දවසෙ අප්පච්චිගෙ මූනෙ තිබුන හීන් හිනාව අද වගේ මතකයි. ඒ වෙනුවෙන් ඕනම දුකක් විඳින්නං කියන පොරොන්දුව ඒ මූනෙ ලියවිල තිබුන. තේ වත්තක රස්සාවක් කරපු අප්පච්චිගෙ ආඩම්බරේ උනේ මම. මම විතරයි නුවර ඉස්කෝලෙක ඉගෙන ගත්තෙ අප්පච්චිගෙ යාලුවොන්ගෙ දරුවො අතරින් උනත්. අප්පච්චිගෙ දුප්පත් ලෝකෙ කවදා හරි මං නිසා එලිය වැටෙයි කියල එයා හැමදාම හිතුවා. වෙනද බෝඩිමට ඇවිත් යනකොට දීල යන රුපියල් 50 රුපියල් 100 ක් කරන්න අප්පච්චි ටවුමෙ ඉඳන් බස් එකේ නොගිහින් පයින්ම හැතැක්ම 8 ක් ගියා කියල මම හොඳටම දන්නව. සීසන් එකටයි ක්ලාස් වලටයි ඇරුනම කඩේකින් වඩේ එකක් කන්න කියලවත් වැඩිපුර ගානක් දෙන්න මගෙ දුප්පත් අප්පච්චිට සල්ලි නොතිබුන බව මං දැනං හිටිය. ඒ නිසා කිසිම දේකට කරදර නොකර මම අමාරුවෙන් උනත් හැම දේම කර ගත්තා. පොත් වෙනුවට අලි මුඩුක්කුවෙං ලාබෙට ගන්න පුලුවන් කොලවල තමයි ලිව්වෙ. ක්ලාස් යනකොට අනික් උන්ට වගේ ලකේට අඳින්න බැරි වෙච්ච මම තිබුන ඇඳුං කෑලි ටික පරිස්සං කරං ඇන්දා.
මෙහෙම ඉන්නකොට තමයි මගෙ ජීවිතේ ලොකුම අවාසනාව සිද්ධ උනේ. එතකොට මම A/L ක්ලාස් එකට ඇවිත් මාස කීපයයි. පංතියෙ උන් ට්‍රිපක් යන්න සෙට් වෙනව හෝ ගාල. මමත් ගෙදර ආව අප්පච්චිගෙං සල්ලි ඉල්ලං යන්න. ඊලඟ දවසෙ උදේ වැඩට යන්න ලෑස්ති වෙච්ච අප්පච්චි අම්මිට කිව්ව මට සල්ලි දෙන්නකො කියල. කවදාවත් නැතුව උදෙන්ම වැඩට යන්න ලෑස්ති උන අප්පච්චිට මම ගිහින් වැන්දා. ඒත් නුවරට එන්න බස් එකට නගින්න කලින් වත්තෙ ඇම්බියුලන්ස් එක ඇවිත් නැවැත්තුවා අපෙ ගේ ලඟ. නිහාල් අංකල් කිව්ව පුතේ නගින්න අප්පච්චි ලිස්සල වැටිල ඉස්පිරිතාලෙට ගෙනිහිං කියල. ඉස්පිරිතාලෙට නොගිහින් වත්තට ඇම්බියුලන්ස් එක හරවනකොට මම නිහාල් අංකල් දිහා බැලුව. අංකල් කිව්ව එහෙනං බෙහෙත් දාං ඇවිල්ලද දන්නෙ නැහැ කියල.
වත්තෙ ඔ‍ෆිස් එක ලඟට යනකොට මට මොකක් හරි අවුලක් තියෙනව කියල තේරුනේ එතන ඉඳපු සෙනඟ දැකලා. අනේ එහෙම දෙයක් නං වෙන්න එපා කියල මගෙ හිත කෑ ගැහුවත් වෙලා තිබුනෙ ඒ දේම තමයි. මගෙ අහිංසක අප්පච්චිට අම්ම උදේ බැඳල දීපු බත් එකවත් කන්න හම්බ වෙලා තිබුනෙ නැහැ. පපුවෙ අමාරුවක් ඇවිත් කෑ ගහනකොට කට්ටිය දුවගෙන ඇවිත්. ඒ වෙනකොටත් මගෙ රත්තරං අප්පච්චි අපිව දාල ගිහිං ඉවරයි. 
හැමදේම අවසාන වෙලා මම ආපහු නුවර යන්න යනකොට මම අම්මගෙ මූන බැලුවෙ නැහැ. මම දන්නව අම්ම දැං කොච්චර අසරණ වෙලාද කියලා. ආපහු බෝඩිමට ආපු මම හිතේ දුක හේදිලා යනකංම ඇඬුවා. ඒත් දුක හේදිලා ගියේ නෑ. අම්මට කරදර කරන්න බැහැ. ක්ලාස් යන්නත් ඕන. මොනව නැතත් මට මේ ලෝකෙ හොඳම යාලුවො ටික සෙට් වෙලා හිටියා. උං මට ක්ලාස් යන්න සපෝට් එක දෙන්නං කිව්වට මං එහෙම කැමති නැහැ. අප්පච්චි කොච්චර දුප්පත් උනත් කාටවත් සතයක්වත් ණය නැති කාටවත් අත පාපු නැති උතුම් මිනිහෙක්. මං කොහොමද කාගෙංවත් සල්ලි ඉල්ලන්නෙ. 
පින්නපොල සර්ගෙ කාඩ් මාක් කරන අයියා කිසිම ප්‍රශ්නයක් අහන්නැතුව ‍ෆ්‍රී කාඩ් එකක් ලියල දුන්න. කීර්ති සර්ගෙ ක්ලාස් එකේ ‍ෆ්‍රී කාඩ් එක වෙනුවට හැමදාම උදේට ටියුට් බෙදන්න සෙට් උනා. ගාමිණී සර්ගෙ ක්ලාස් එකේ සෙට් උනේ හාෆ් කාඩ් එකක්. කමක් නෑ. ඒ ඇති හොඳටම. බෝඩිමේ ඇන්ටිට කිව්ව කෑම ඕන නැහැ කියල. හැමදේම අමාරුවෙන් කරන්න ඉගෙන ගත්තා. දවසට එක වේලක් කාල ඉතුරු ටික වතුරෙන් හරි යාලුවො ගේන කෑම එකෙං හරි ගැට ගහගත්තා. මේ අතරෙ අම්මත් හොඳටම මානසිකව වැ‍ටුනා. එයත් අසනීප උනා. මේ ඔක්කොම අතරෙ මම බඩගින්නෙ පාඩං කලා.
හැම දේකම ප්‍රතිඵල ආවම කොච්චර සතු‍ටුද. A දෙකයි B එකයි . අප්පච්චි හිටියනං කොච්චර සං‍තෝස වෙන්න තිබුනද. ඉංජිනියරිං යන්න පුලුවං. ඒත් මං දන්නව මෙතනිං එහාට මේ දේ කරන්න බැහැ කියලා. ඉතින් මම ගත්තා ගන්න තියෙන අමාරුම තීරණේ. කැම්පස් යන්නෙ නැහැ, හොයාගන්නව ජොබක් කියල. ඒක තමයි මම මගේ ජීවිතේ ගත්ත හොඳම තීරණය සහ මගෙ ජීවිතේ අද මම ඉන්න තැනට ගෙනාපු තීරණේ.
අද මගේ මේ කතාව අහන කවුරුත් මං අද කරන ජොබ් එක පිලිගන්න එකක් නැහැ. ඒක කියන්නත් බැහැ මොකද එහෙම උනොත් මේ මගෙ කතාව කියල දැන ගන්නව ගොඩක් පිරිසක්.
ඒක තමයි ආරම්භය.

ආරම්භය

ඇරඹුන විදිහ ගැන මතකයක් නැති, අවසන් වෙච්ච විදිහ ගැන තේරුමක් නැති මගේ දුක්බර ආදර කතාව අහන්න කැමති අයට අහන්න දෙන්න ඕන කියල හිතුනා. කැමති අය අහන් ඉන්න. මගෙ දුක බෙදාගන්න විතරමයි මට ඕන. මේ කතාව ටිකක් දිග කතාවක්. පටන් ගැන්ම අමුතුයි. මැද හරිය ආදරනීයයි. අවසානය දුක්බරයි. (ගොඩක් පෙම් කතා එහෙම තමයි නේ?) ඒත් මට මගෙ කෙල්ලට කියන්න බැරි වෙච්ච මගෙ ආදරේ නොකියවුනු කතා ටිකයි මේ. අහන් ඉන්න අයට පිං මුලින්ම.